Location,Welisara,Ragama.
0112958474
animalphwppd@gmail.com

හැදින්වීම

දැක්ම

ජනතාවගේ ජීවන තත්වය ඉහළ නැංවීම උදෙසා ලාභදායී සහ තිරසාර පශු නිෂ්පාදන කර්මාන්තයක්

මෙහෙවර

ජනතාවගේ ජීවන තත්වය ඉහළ නැංවීම සදහා සත්ත්ව සෞඛ්‍ය ඉහළ නැංවීමට, සතුන්ගේ ආරය උසස් කිරීමට, සත්ව ගොවිපල වැඩිදියුණු කිරීමට සහ ගොවිපල ශක්තිමත් කිරීමට අවශ්‍ය  මූල්‍ය, භෞතික හා තාක්ෂණික සේවාවන්  සමාන හා සාධාරණ ලෙස සැපයීම

සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව

 

සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව යනු බස්නාහිර පළාතේ පශු සම්පත් ව්‍යාපාරය හා එහි කොටස් කරුවන් වෙත තාක්ෂණික වශයෙන් නායකත්වය ලබා දීමට වගකිවයුතු රාජ්‍ය ආයතනයකි.බස්නාහිර පළාත් කෘෂිකර්ම, ඉඩම්,වාරිමාර්ග, ධීවර, සත්ව නිශ්පාදන හා සෞඛ්‍ය සහ ගොවිජන සංවර්ධන පිළිබද අමාත්‍යංශය යටතේ පාලනය වන මෙම දෙපාර්තමේන්තුව කොළඹ, කළුතර, ගම්පහ යන දිස්ත්‍රික්ක තුනෙහිම පැතිරුන ආයතන, උප ආයතන 40කින් පමණ සමන්විතව උපරිම හා තෘප්තිමත් මහජන සේවයක් සලසා දෙන රාජ්‍ය ආයතනයකි .

1988 බස්නාහිර පලාත් සභාව පිහිටුවීමෙන් අනතුරුව මධ්‍යම රජය යටතේ  පාලනය වූ බස්නාහිර පළාතේ පිහිටි සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය  ක්ෂේත්‍ර සේවා හා  ක්‍රියාකාරකම් ඉටුකල ආයතන එක්කර ඒවා පාළනය සදහා බස්නාහිර පළාත් සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව පිහිටුවන ලදි. 

 වර්තමානය වන විට මෙම දෙපාර්තමේන්තුව සත්ව සෞඛ්‍ය, පශු සම්පත් සැලසුම්, සත්ව අභිජනන,  මානව සම්පත් සංවර්ධනය,  හා ආර්ථික යන  අංශ කෙරෙහි වඩාත් නැඹුරුව සිය සේවාවන් ක්‍රියාත්මක කරන අතර  මීට අමතරව මධ්‍යම රජය විසින් සම්මත කරන්නා වූ  පශු සම්පත් ක්ෂේත්‍රය සම්බන්ධ අණපනත් හා නීති මාලාවන් මෙම දෙපාර්තමේන්තුව විසින් ක්‍රියාත්මක කරනු ලබයි.

පශු වෛද්‍ය වෘත්තිකයන් විසින් පාලනය කරනු ලබන ප්‍රාදේශීය පශු වෛද්‍ය කාර්යාල 33 හා  එම ආයතන පාළනය කරනු ලබන දිස්ත්‍රික් පශු වෛද්‍ය කාර්යාල 03  සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය  දෙපාර්තමේන්තුවේ ප්‍රධාන ක්‍රියාකාරී ඒකකයන් වේ. එයට අමතරව පශු සම්පත් ක්ෂේත්‍රයේ නියුතු ක්‍රියාකාරින්ගේ  මානව සම්පත් සංවර්ධනය සදහා වූ පුහුණු මධ්‍යස්ථානයක් හා ආදර්ශ ගොවිපලක් කොටදෙණියාව දොඹවින්න ප්‍රදේශයේ පිහිටුවා ඇත. තවද සූකර ශීත ශුක්‍ර ඒකකයක් ද  එම මධ්‍යස්ථාන භූමියෙහිම පිහිටුවා පවත්වාගෙන යනු ලබයි. මීට අමතරව සත්ව අභිජනන කාර්යාලයක් හා තෘණ සම්පත් මධ්‍යස්ථානයක් ද මෙම දෙපාර්තමේන්තුව යටතේ පාලනය කෙරේ.

මෙම සෑම ප්‍රාදේශිය කාර්යාලයක්ම ප්‍රධාන කාර්යාලයේ අධීක්ෂනය හා පාළනය යටතේ පවතින අතර එම සියලුම කාර්යාල ආවරණ වන පරිදි පශු සම්පත් සම්බන්ධ මහජන සේවය සදහා ඍජුව සම්බන්ධ වන පශු වෛද්‍ය නිළධාරීන් 66ක්,  සත්ව සංවර්ධන උපදේශකවරු 84 ක්,  සංවර්ධන නිළධාරීන් 70ක් සහ අනෙකුත් කාර්යාල කටයුතුවල නිරත අනුමත කාර්ය මණ්ඩලයක් සේවයේ නිරතව සිටී.  

මෙම සියළු මධ්‍යස්ථාන හරහා පශු සම්පත් ක්ෂේත්‍රයේ සීඝ්‍ර ප්‍රගතියක් හා සුවිශේෂි මහජන සේවයක් සපයා දෙමින් ශ්‍රී ලංකාවේ දළ ජාතික නිශ්පාදනය හා මානව සම්පත් ඉහළ නැංවීම සදහා ඍජු හා වක්‍ර ලෙස උපරිම දායකත්වයක් ලබා දීමට අප දෙපාර්තමේන්තුව බලාපොරොත්තු වේ